unique visitor counter
Loading...

රාජසිංහ රජ්ජුරුවොත් සොසේජස්‌ කෑවා – ගැට පොළොස්‌වලින් සොසේජස්‌ හදන හැටි පබ්ලිස්‌ සිල්වා මෙතෙක්‌ නොකී රහස්‌ වට්‌ටෝරු

Loading...

පබිලිස්‌ සිල්වා මහතා විසින් රචිත “සූපවංශය” ප්‍රථම පිටපත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වූ අයුරු. කථානායක කරු ජයසූරිය, ගල්කිස්‌ස මහ හෝටලයේ සභාපති සනත් උක්‌වත්ත යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

ඉකුත් 24 වන දින ආචාර්ය දේශබන්දු පබිලිස්‌ සිල්වා මහතාගේ ජීවිතයේ සුවිශේෂී දිනයක්‌ විය. ඔහු විසින් වසර 41 ක්‌ පුරා මහත් වෙහෙසක්‌ දරා සොයාගත් රසවත් තතු විත්ති ඇතුළත් ‘මහා සූපවංසය’ නම් ග්‍රන්ථය දොරට වැඩුම එදිනට යෙදී තිබූ අතර ඒ සඳහා සහභාග sවීමට බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි ආරාධිත අමුත්තන් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද විය. මහානායක ස්‌වාමීන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පූජකතුමන්ලා අන්‍යාගමික පූජකවරුන් ඇතුළු වියත් මිනිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී පබිලිස්‌ සිල්වා විසින් තම ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිවරයාට පිළිගන්වන ලද අතර එහිදී ඔහු තම අදහස්‌ ප්‍රකාශ කරමින් කියා සිටියේද එදින තම ජීවිතයට සුවිශේෂී ස්‌මරණයක්‌ එක්‌වූ දිනයක්‌ ලෙසින් ඉතිහාසයට එකතුවන බවය.

ඉන් දින කීපයකට අනතුරුව තෙවන වතාවටද ගල්කිස්‌ස මහ හෝටලයේ සූප හා ආහාර ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ පබිලිස්‌ සිල්වා මුණගැසීමේ අවස්‌ථාව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට හිමි විය. එහිදී දේශීයව නිපදවා ගත හැකි රසවත් ආහාර වර්ග කීපයක්‌ පිළිබඳව පබිලිස්‌ සිල්වා විසින් පළමු වරට අනාවරණය කිරීමක්‌ සිදුවිය.

සිය කතාබහ ආරම්භ කිරීම සඳහා සූපවංශය ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් විශේෂයෙන් සූදානම් කර තිබූ ආහාර මේසයේ දකින්නට ලැබුණු විශේෂ රොටි වර්ගයක්‌ පිළිබඳ හැඳින්වීමක්‌ කරමින් ඔහු මා සමඟ කතාබහ ආරම්භ කළේය.

මගේ පොත ‘සූපවංශය’ එළිදක්‌වපු දවසින්ම මම මේ කථාව ආරම්භ කරන්නම්.

එදා මම ලංකාවෙ පළමු වරට දන්දිල අලවලින් (රාජඅල) රොටි හැදුවා. ඒ රොටිය හදන තාක්‌ෂණය මම ගත්තෙ ජපානයෙන්. මොකද ජපන් රටේ විවිධ අලවර්ග භාවිත කරලා ඉතා රසවත් ලෙස රොටි වර්ග සකසනවා. ඒ ආභාසය ලබාගෙන මම අපේ රටේ තිබෙන දන්දිල අල රොටිය හදනවා. එදා මගේ ‘සූපවංශය’ පොත දොරට වැඩීමේ උත්සවය වෙනුවෙන් සූදානම් කළ කෑම මේසයට තමයි ප්‍රථම වතාවට මම ඒක එක්‌ කරන්නෙ.

දන්දිල අල කියන්නෙ සූරලා පොත්ත අරින්න බැරි අල වර්ගයක්‌. මේ අල වර්ගය අපේ රටේ උතුරු ප්‍රදේශයේ දමිළ ජනතාව පුඩිමක්‌ හදන්න පාවිච්චි කරනවා. ඒ අයගෙ විශ්වාසයක්‌ තියෙනවා, මේක බොහොම ශක්‌තිමත් ආහාරයක්‌ කියලා. දන්දිල අලයක්‌ ගත්තොත් ඒකෙ ඇතුළෙ තියෙන්න නානු වගේ සෙවල ද්‍රව්‍යයක්‌. දන්දිල අලය කෑලි කපන්න බැහැ. අර මම කිව්ව “නානු” වලින් තමයි මේ රොටිය හදන්නෙ. ඒක හදන්නෙ මෙහෙමයි. දන්දිල අල කිලෝ එකකට පිටි මේස හැඳි දෙකයි බිත්තර කහමද දෙකයි අවශ්‍ය ලුණු ප්‍රමාණය දාල මේක හොඳින් හැඳිගානවා. ඊට පස්‌සේ වක්‌කරන්න තියන්නෙ හරියටම කිව්වොත් බිත්තර ඔම්ලට්‌ එකක්‌ දාන්නේ අන්න ඒ විදිහට සකසා ගන්න එකයි තියන්නෙ. ඊට පස්‌සෙ ඒක හයි වෙනවා. තව එදා තිබුණ අලුත් ආහාරයක්‌ තමයි ගැටපොළොස්‌ ලැවරිය. ඒකත් කෑම මේසයට අලුතින් එකතු කළ ආහාරයක්‌. ඒක ආහාරයට ගන්න කම් හුඟ දෙනක්‌ හිතුවෙ පොල් පැණිවලින් හදපු ලැවරිය කියලා. නමුත් ඒක හැදුවෙ ගැටපොළොස්‌වලින්. හැබැයි ගැට පොලොස්‌ කරියක්‌ හදලා ඒකට ඇතුළු කළා නම් ලැවරිය එකක තිබෙන මතුපිට පැහැය වෙනස්‌ වෙනව. එදා හුඟ දෙනෙක්‌ මගෙන් අහපු පැනයක්‌ තමයි මොනවද මේ ලැවරිය එක ඇතුළට දාල තියෙන්නෙ කියන එක. ඒක කොහොමද හදන්නෙ කියන එක මම ඉදිරියෙදි පැහැදිලි කරන්නම්. මම මේ කියන්න උත්සාහ කරන්නෙ මේ දේවල් අපි අත්හදා බැලීම් කළ යුතුයි කියන එකයි.

මම මීට පෙරත් පුවත්පතකට කිව්වා පොල් ගෙඩියක පොල්කට්‌ට හැර මදය සහ මතුපිට ආවරණය. ආහාරයට ගන්න පුළුවන් විවිධ අවස්‌ථා කීපයක්‌ සම්බන්ධව. පොල් මලක හටගන්න. සියුම් පලයක්‌නෙ අවසානයේ පොල් ගෙඩියක්‌ වෙන්නෙ. අන්න ඒ එක්‌ එක්‌ අවස්‌ථාවන් තුළ උදාහරණයක්‌ විදිහට ගත්තොත් කුරුම්බැට්‌ටියෙන් සලාදයක්‌ එහෙමත් නැත්නම් පරිප්පුවලට බොහෝ සෙයින් සමාන වෑංජනයක්‌ හදන්න පුළුවන්. ඒ ගෙඩිය තව ටිකක්‌ මෝරල කුරුම්බ බවට පත්උනහම එතෙන අතුරුපස හදන්න පුළුවන්. අපට පොල් වර්ග අටක්‌ තිබෙනවා. ඒ අතරින් එකක්‌ තමයි “නැවැසි” එහෙමත් නැත්නම් ඇතැමුන් කියන පරිදි ‘නවසි’ පොල් ගෙඩියෙ පොල් ලෙල්ල කහට ගතියක්‌ නැහැ. ඒ ලෙල්ලෙ ළපටි කාලෙ පැණි රසක්‌ තියෙනවා. කොළ පාට පොත්ත ඇරල ගත්විට කන්න පුළුවන්. ඒකෙනුත් හුඟක්‌ දේ කරන්න පුළුවන්. රසවත් කරියක්‌, සලාදයක්‌ විදිහට නවසි පොල් ගෙඩියෙ ලෙල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ අප අවට තියෙන බොහෝ දේ මේ වෙද්දි අපි ඉවත දැම්මට ඔය බොහෝ දේ තුළ විශේෂයෙන්ම ආහාර සම්බන්ධව ගත් කල ඒව ඉවත නොදැමිය යුතු දේවල්. මම හිතනව ඒ සම්බන්ධව රට දැනුවත් කරන්න මාධ්‍ය මගිනුත් විශාල වැඩ කොටසක්‌ සිදුකළ යුතුයි කියලා.”

“දැන්…. සති දෙක තුනකට පෙර ‘දිවයින’ පුවත්පතට අදහස්‌ දක්‌වමින් මම ප්‍රකාශ කරපු දෙයක්‌නෙ තිරිවානා ගල්වලින් කරියක්‌ හදන්න පුළුවන් කියන එක. ඔව් රජවරු පවා තමන්ගෙ ආහාරවේලට තිරුවාන ගල් අරන් තිබෙනවා. කෙනෙක්‌ හිතන්න පුළුවන් කොහොමද තිරුවානාගල් කන්නෙ කියලා. සූප ශාස්‌ත්‍රය කියන්නෙ අන්න ඒකට. ගල් කන්නෙ නැහැ. නමුත් ගලේ යම් සාරයක්‌ තිබෙනවා නම් අන්න ඒක තිරුවානාගල්වලට එකතු කරන අනෙකුත් අඩුම කුඩුමවලට උරාගන්නව. ඒ හින්ද තමයි පෙර රජ දරුවො තමන්ගේ රාජභෝජනවලට මේක එකතුකර ගත්තෙ.

දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්‌සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක්‌ පිළියෙල කරනවා. ඒක සියක්‌ නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්‌. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස්‌ කරනවා.

ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක්‌ කියල ඒ කිලෝ එක තනි ගලක්‌ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක්‌ කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක්‌ තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්‌, කුරුඳු පොතු අඟලක කෑල්ලක්‌ කුඩුකරගත් කරපිංච මේස හැන්දක්‌ බැදගත් උළුහාල් තේ හැඳි භාගයක්‌ ලුණු ස්‌වල්පයක්‌ හොඳ මිටිකිරි අඬු කෝප්පයක්‌ දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක්‌ ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක්‌ පමණ තියාගන්න ඕන. ඊට පස්‌සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

ඒ අතරතුරේ…. හොඳ තිරුවාන කිලෝ එකක්‌ විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්‌ටියක්‌ අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක්‌ ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්‌නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්‌නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක්‌ යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්‌තිය හොද්දට එකතු වෙනවා.

අප දන්න දෙයක්‌නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක්‌ සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක්‌ සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්‌කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස්‌ සොයාගෙන තවදුරටත් ඒව රහස්‌ බවට පත් නොකර සමාජගත කරන එක.

ඒ විතරක්‌ද? අපේ අන්තිම රඡ්ජුරුවො සොසේජස්‌ කෑව. මේව අපට ඔප්පු කරන්න පුළුවන්. මේ දේවල් ලේඛනගතව තියෙනවා. ඒව ඒ කාලෙ වෙන වෙන නම්වලින් නම් කරන්න ඇති. නමුත් අද ඔය අපි සොසේජස්‌ කියන නමින් ආහාරයට ගන්න දෙය ඒ කාලෙත් තිබිල තියෙනවා. සමහර විට ඒ වෙද්දි අපේ රට විදේශීය ජාතීන් තුනකට යටත් වෙලා කාලයක්‌ පැවැති හින්ද මේක මුලින්ම අපේ රටට ගේන්නෙ ඒ අය වෙන්න ඇති.

දැන් මමත් නිර්මාංශ සොසේජස්‌ හදනව. ඒක හැදුවට පස්‌සෙ මොනවායින්ද කියල හොයන්න බැහැ. ඒක හදන්නෙ මෙහෙමය. පොළොස්‌ ටිකයි ගන්නව. ඒක හොඳට තම්බල පොඩිකර ගන්නවා. එයින් කිලෝ එකයි. ඊළඟට කඩල පිටි ග්‍රෑම් තුන්සීයයි බිත්තර දෙකයි. ඊට අවශ්‍ය ලුණු, ගම්මිරිස්‌, මිරිස්‌ කුඩු කහ, රම්පෙ කරපිංච අවශ්‍ය ප්‍රමාණයට හොඳට අඹරල අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරනවා. එතකොට අපි කට්‌ලට්‌ හදන්න ගන්න මිශ්‍රණය වගේ මිශ්‍රණයක්‌ හැදෙනවා. ඊට පස්‌සෙ දුහුල් රෙදි කෑල්ලක්‌ අරන් හොඳට මිරිකල අර මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඇඟිල්ලක්‌ තරමට වෙන්න රෝල් කරල අර රෙදි කඩ මත අතුරනවා. ඊට පස්‌සෙ රෙදි කැබැල්ල එය වටා ඔතල දෙපැත්ත බඳිනවා. ඊළඟට මේක හුමාලයෙන් තම්බ ගන්නවා. එහෙම කරල නිවුනට පස්‌සෙ ශීතකරණයට දානවා. එහෙම තියල දවසකට පස්‌සෙ මේක එළියට අරන් අර රෙදිකඩ ලිහල ගත්තට පස්‌සෙ ඔය දැන් වෙළෙඳපොළේ තිබෙන සොසේජස්‌ ආකාරයේ සොසේජස්‌ එකක්‌ බවට මේ පොළොස්‌ මිශ්‍රණය පත්වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මිශ්‍රණයම පොඩි කෑලිවලට කපලා එවලෙම ගැඹුරු තෙලේ බැදල රසවත් ආහාරයක්‌ ලෙස අනුභව කරන්නත් පුළුවන්. කොහිල අල පාවිච්චි කරලත් ඔය මම කිව්ව දෙයාකාරයටම ආහාරයට ගන්න පුළුවන්. මම මුලින් කිව්ව පොළොස්‌ සොසේජස්‌ ඩෙවල් එකක්‌ ලෙස හදාගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ හුඟක්‌ දේවල් මම දැනට අත්හදා බලල ඉන් අනතුරුව රටට ඉදිරිපත් කරලා තියෙනවා.

එහෙම කරපු නව සොයා ගැනීමක්‌ තමයි මඤ්ඤොක්‌කා රොටිය. මඤ්ඤොක්‌ක රොටිය කියන්නෙ අමුවෙන් මඤ්ඤොක්‌ක අරගෙන ඒක තුනීයට ගා ගන්නවා. ඊට පස්‌සෙ වතුර ස්‌වල්පයක්‌ ඒකට කලවම් කරලා මිරිකල ගන්නවා. එතකොට ඒක තරමක්‌ ඝනකම දියරක්‌ බවට පත්වෙනවා. එයින් කිලෝ එකකට පොල් සම්බල් ග්‍රෑම් හාරසියයක්‌ දානවා. ඒකට බිත්තරයක්‌ දාලා හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්‌සෙ අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදන්නෙ. අන්න ඒ ආකාරයටම තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රොටි පුච්ච ගන්නවා.

මම පුළුවන් තරම් මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ කාරණා කීපයක්‌ හින්දයි. ඒකෙ පළමුවැනි කාරණාව තමයි අපේ රටේ බෝ නොවන රෝග රාශියක්‌ සීග්‍රයෙන් පැතිර යැම. දියවැඩියාව, කොලෙස්‌ට්‌රෝල්. අධි රුධිර පීඩනය මේ කොයික ගත්තත් ඒවට මූලිකම හේතුව තමයි අපි ගන්න ආහාරයේ තිබෙන වස විස, මේවා අපිට හඳුන්වලා දෙන්නේ බහු ජාතික සමාගම්. දැන් මේ අය කරන්නේ අපේ රට විතරක්‌ නොවෙයි අපේ මුළුමහත් ජාතියම විනාශ කරන එකනේ. කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම තෙල් වර්ණකාරක දාල මේ අය මුලින්ම කරන්නෙ ආහාර හදලා අපේ රටට එවන එක. දෙවනුව ඒ වස විස දාල ආහාර පිළියෙල කරන්නත් අපව පොළඹවනවා. අද වෙලා තියෙන්නෙ. ඒක. මේවායින් වෙන්නෙ බෝ නොවන රෝග රාශියකට රටේ ජනතාව ගොදුරුවෙන එක. අද පිළිකාව ගත්තොත් ඒක වසංගතයක්‌ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ. මෙන්න මේකෙන් රට ගලවාගන්න එක තමයි, මගේ උත්සාහය වෙන්නෙ. මේක අභියෝගයක්‌. ජීවිතය පරදුවට තබල මම භාර ගත්ත අභියෝගයක්‌ මේක මොකද මම හොයාගත්ත අලුත් අලුත් දේ මම විකුණන්නෙ නෑනෙ. මම කරන්නෙ ඒ පණිවිඩය මුළු මහත් සමාජයටම දෙන එක විතරයි.

හැබැයි මේ වැඩේට අධ්‍යාපනයෙන් උදව් කරන්න ඕන. සෞඛ්‍යයෙන් උදව් කරන්න ඕන. ඊට අමතරව ජනමාධ්‍යයෙන් මේව පිළිබඳ දැනුවත් කරන්න ඕන. ඔය කියන ටික මේ කාර්යයට හවුල් වෙනව නම් අපට පුළුවන් වේවි අනාගත පරපුර හරි මේ වැරදි ආහාර සංස්‌කෘතියෙන් ගලව ගන්න. මෙතනදි අධ්‍යාපන අමාත්‍යාංශය ‘සූපවේදය’ කියල වෙනම විෂයක්‌ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු වෙනවා. අද පාසල් ළමුන්ට ගෘහ විද්‍යාව කියල විෂයයක්‌ තිබුණත් ඒක කප්පාදු කරල අද තියෙන්න ගෘහ විද්‍යාව කියල කේක්‌ එකක්‌ හදන හැටි ළමයින්ට කියාදෙන එක පමණයි. ඒකෙන් වෙන්නෙ මොකක්‌ද අර බෝ නොවන රෝගවලට නොකියා අත වැනීමක්‌ මොකද ඒක හදන්නෙත් කෘත්‍රිමව සකසා ගත්ත දෙයින්.

ඒකයි මම එදා සූපවංශය එළිදක්‌වන උත්සවයෙදීත් කිව්වෙ සූපවේදියයි. මාධ්‍යවේදියයි අධ්‍යාපනවේදියයි සෞඛ්‍යවේදියයි හරියට එකතු වුණොත් නැවත මේ රට ස්‌වර්ණමය තැනකට රැගෙන යා හැකියි කියල. ආහාරයෙන් තමයි· මනුෂ්‍යය සුගතියට හෝ නරකාදියට යවන්න පුළුවන් වෙන්නෙ. දැන් තියෙන්නෙ නරකාදිය. දොස්‌තර වර්ජනය කළොත් එක දවසකට කී දෙනෙක්‌ දුක්‌ විඳිනවද, විලාප තියනවද? රෝහලක බෙහෙත් පෝළිම කොච්චරවත් නම් දික්‌වෙනවද මෙන්න මෙතනින් රට ගලව ගන්න තමයි නිවැරදි ආහාර සහ ආහාර පිසීමේ කලාව වැදගත් බවක්‌ ගන්නෙ. ඒ හින්ද මේ කතාබහ අවසානයෙත් මම ඉල්ලා සිටින්නෙ ශරීරයට හිතකර දේ පමණක්‌ පුළුවන් තරම්වත් හෝ ආහාරයට ගමු. ඒ ගැන රටවැසියන් දැනුවත් කරන්න ඕන තරම් අය මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. තවත් මට පුළුවන් හැම දේම රට ජාතිය වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙනවා. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක්‌ කරමු. මම විශ්වාස කරනව. ඒක තමයි, සූපවේදීන් ලෙස අපට කළ හැකි ලොකුම දෙය…

ලබන සතියේ තවත් කොටසක්‌

Loading...