unique visitor counter
Loading...

අරක්කු බාගයයි මස් පාර්සලයි රැගෙන සිරිපා අඩවියට පැමිණි වේලුට රීරි යකා කරපු දේ – සත්‍ය කතාවක්

Loading...

බොදුනුවෝ අප ස්‌වාමි වූ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටි සමනොළකන්ද කරුණා කිරීම අනාදිමත් කාලයක සිට පුරුදුව සිටියහ.  අව්ව, වැස්‌ස, පින්න, දැඩි මීදුම සහිත සීතල සුළං පවතින සීතල හිමයේ අති දුෂ්කරවූ සිරිපා ගමනේදී මහත්වූ දුක්‌ පීඩාවට පත්වුවද බැතිමත්හු බුදු හිමියන් කෙරේ අචලවූ භක්‌ති ප්‍රණාමයෙන් සිරිපා කරුණා කිරීමට පුරුදුව සිටීම නිසා ඔවුහු එවන් දුක්‌ පීඩා පයෑවන් දූලි පොදක්‌ පමණවත් නොතකා හරිති. අද මෙන් නොව පෙරදා දිය සෙවළ බැඳිගල් පඬිවල නගිමින් දම්වැල එල්ලී සිරිපා කරුණා කළ යුගයක සිරිපා වන්දනාවට බැතිමත්හු පැමිණියේ තම ගම් බිම් හරකා බාන ගෙවල් දොරවල් ඉඩ කඩම් තම දරුවන්ගේ දරු මුනුබුරන්ට ලියා පවරා දීමෙනි. ඊට හේතුව වූයේ එම අපහසුවූ ගමනත් සිරිපා කරුණාකර ආපසු ඒම ගැන විශ්වාසයක්‌ නොතිබූ හෙයිනි.

එදා මෙදා තුර කාලයේදී දහස්‌ ගණනක්‌ සිරිපා වන්දනාවට පැමිණ මියෑද ගොස්‌ ඇත. ඔවුනගේ ප්‍රාණයන් සුරලොවට මෙන්ම හිමයේ ජීව වායුවටද ආඝ්‍රාණය වී ඇතැයි මම සිතමි. පසු දිනකදී ඒවාට ප්‍රාණ වායුව ලැබී හොල්මන්අවතාර හෝ දෘෂ්‍යමාන හෝ අදෘෂ්‍යමාන බලවේග බවට පත්වී ඇති බවට අපමණ වූ නිදසුන් හමුවී ඇත.

සිරිපා වන්දනා සමයේදී විවිධ ජනමාධ්‍යවලින් සමනොළ සිරිසර තොරතුරු ඔබ දැක හා අසා ඇත. කියවා දැකබලා රසවින්දනය කර ඇත. එකිනෙක හා එක සමානව තොරතුරු මතින් ඔබව විඩාවට පත්ව ඇතැයි මම සිතමි. ඔබ සිතේ විඩාව සංසිදුවන අදහසින් සමනොළ කන්දේ දී ඇති වූ හා සිදුවූ අද්භූත දේ ඇතැම් විට හොල්මන් යෑයි සිතේ. ඒ නැවුම් තොරතුරු වලින් ගත හා සිත පුබුදු කරවන්නට මම ඉටාගතිමි. සමනොළ කන්ද හිමගිර තරණයේදී අවසන් හුස්‌ම හෙළුවන්ගේ ජීවවායුව වාතලයට එක්‌ වී, මුසු වී ඒ ප්‍රාණයන්ට ජීවය ලැබී අදටත් දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන බලවේග බවට පත්ව ඇත.

සෝතාපත්ති ඵලයට පත් සුමන සමන් දෙවිරඳුන් ආරක්‍ෂා කරන්නා වූ බදුරු නම් යක්‍ෂ සේනාපතියා හා ඔහුගේ සහචර යක්‍ෂ යක්‍ෂණියන් ගේ ඇල්මෙන් බැල්මෙන් නොඅඩු වූ සමනොළ හිමයට පිවිස අකැප දේ කරන්නා වු මිසදිටුවන්ට දඬුවම් දීම හා වද බJධනයන්ට ලක්‌කිරීම ස්‌වාභාවික සිද්ධියක්‌ බව පැරැන්නෝ පවසති.

ගත සිත කිළිටි කරගෙන සමනොළ අඩවියට පානගන අය හට නොයෙකුත් දුක්‌ පීඩාවන්ට මුහුණ දීමට සිදුවූ බවත් හෙළිවෙන කථා පුවතක්‌ දැන් ඔබ ඉදිරියේ පවසන්නම්. අප දැන් ඒ කථාවට සමවැදෙමු.

ජී.ඒ.පි. මස්‌කෙළිය ගැප් එකේ චිත්‍රසේන මුදලාලි අදත් ජීවතුන් අතර සිටින මගේ හිතවත් මිත්‍රයෙක්‌. එක්‌දහස්‌ නවසිය අසූ ගණන් වල ඔහු හැටන් ශ්‍රීපාද පාරේ තැන්නේ රතු අම්බලම අසල ආපන ශාලාවක්‌ පවත්වා ගෙන ආ අයෙක්‌. වසර කීපයක්‌ ආපන ශාලාව පවත්වාගෙන ගියද හරිහමන් ගෝලයෙක්‌ නොමැති නිසා පාඩු පිට පාඩු සිදුවීම නිසාත් කඩ පවත්වා ගෙන යැම අතහැරියා “තැන්නේ කඩේ චිත්තරේ අයියා” කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙක්‌, අතේ සල්ලි තියෙන වෙලාවට සුද්ද වගේ, අදත් ඔහු මස්‌කෙළිය නගරයේ වෙළඳසැලක්‌ හිමි ව්‍යාපාරිකයෙක්‌.

තමන්ට විශ්වාස අයෙක්‌ සිටියොත් ඔහුගේ මුළු ව්‍යාපාරයම ඒ අයට බාරදෙනවා. කඩේට අවශ්‍ය බඩු මස්‌කෙළියෙන්ම සොයා එවනවා. කඩේ අයට තියෙන්නේ ඒවා වෙළ¹ම් කරලා මුදල් පෙන්වන එකයි. කීයක්‌ හරි ගෝලයෝ හොරකම් කළොත් පේන කියනවා වගේ ගාණත් එක්‌ක කියනවා. ඒතරම්ම සිරීපාදෙ වෙළදාම ගැන තේරුමක්‌ තියෙනවා. කොටින්ම කියනවානම් සීනි, පිටි, ගෝනිත් අනිත් බඩු දිහාත් බලා වෙළෙ¹ම් ගැන කියන්ට තේරුමක්‌ තියෙනවා. ජනවාරි, පෙබරවාරි මාර්තු වෙළෙ¹ම් කළාට පස්‌සෙ කඩවල මුදලාලිලගේ සිරිත තමයි කඩේ හොඳට අවංකව සේවය කරපු අයට කඩේ බාර දීම. මුදලාලිලා ගම්ම්වලට යන්නේ තමන්ට උදව් උපකාර කරපු උදවියට සලකන්න.

දැන් ඉතින් සිංහල අවුරුද්දට තියෙන්නේ දවස්‌ කීපයයි. පහළ තේ වත්තේ වැඩ කරන ළමයි දෙන්නෙක්‌ කඩේ නවත්තලා චිත්‍රසේන මුදලාලි ගෙදර ගියා. ඒ දෙන්නගේ නම වේලු හා බාලුයි. සිංහල අවුරුද්ද දවසේ සත්තරෙ මුදලාලිගේ ගෙදර අවුරුදු කන්න එන්න. එක්‌කෙනෙක්‌ කඩේ නවතින ලෙසත් උපදෙස්‌ දුන් චිත්තරේ ගෙදර ගියා.

සිංහල අවුරුදු දා එළඹුණා. වේලුට කඩේ බලාගන්න කියලා අවුරුදු කන්න බාලු මුදලාලිගේ ගෙදර ගියා. පොඩි අඩියක්‌ ගහල දෙන්නම කෑම කාලා සරොන් කමිස තෑගිත් අරන් වේලුට දවාලට කන්න බත් පාර්සලයකුත් අරක්‌කු බාගයකුත් අරගෙන වේලු ආපසු දවල් දොළහට පමණ මස්‌කෙළියෙන් නල්ලතන්නියට ආවා. අවුරුදු දවසේ හින්ද සිරිපාද පාරේ එතරම් සෙනගක්‌ හිටියෙ නැහැ. අප්‍රේල් මාසයට සිරිපාදෙට වැස්‌ස පටන් ගන්න කාලයයි. හවසට අහස කළුවර වෙන නිසා බාලුත් ඉක්‌මන් පයින්ම තැන්නේ කඩයට එමින් සිටියා.

මකර තොරණ බැතිමතුන් හඳුන්වන්නේ සමන් දෙවි අඩවියට පිවිසෙන ප්‍රධාන දොරටුව නැත්නම් සමන් දෙවි සීමාව යනුවෙනුයි. මකර තොරණ පසු කරනවාත් සමගම පුංචි පාලමක්‌ සමගම වංගුවක්‌ තියෙනවා. දැනුත් ඒ පාළම දකින්න පුළුවන්. පාළම මැදට ආ බාලු එකවරම පාළම උඩ සිහිසුන්ව ඇදවැටුනා. බත් පාර්සලයත්, අලුත් ඇඳුම් පාර්සලයත් ඈතට වීසිවුණා. අරක්‌කු බාගය බිඳුනා. පැය කාලක්‌ බාගයක්‌ වෙලා යන විට අන්ද බීරිවෙලා තිබූ අහස වැසිබරව ධාරානිපාත වැස්‌සක්‌ පතිතවුණා.

වැස්‌සට පාරදිගේ ආ බොර වතුර පෙවුණ බාලුට ප්‍රකෘති සිහිය ලැබුණා. ඔහු වටපිට බැලුවා. ඇඳගෙන සිටිs අලුත් ඇඳුම් බොර වතුරෙන් තෙමිලා. අරක්‌කු බෝතල් බාගයත් බිඳිලා. වේලුට බැඳ දුන් බත් පාර්සලයත්, තෙමුන අලුත් අවුරුදු රෙදි තෑගිත් අරන් තැන්නේ කඩයට ආපු බාලු ආ හැටියේම කඩේ මැස්‌සකටවී නිදාගත්තා. සිංහලයෙන් හා දෙමළයෙනුත් දොඩවන්ට පටන් ගත්තා. අපිත් හිතුවේ මොකකට හරි බයවෙලා ඇති බවයි. කඩේ හිටි වේලු අයියා ශතදහයේ කාසියක්‌ සෝදා දෙහි කෑල්ලක්‌ අතුල්ලා සුදුරෙදි කැල්ලකින් ගැටගසා සමන් දෙවියන් උදෙසා මල් පහන් පූජා කරන තැන පඬුරක්‌ ගැට ගැසුවා.

“අයියෝ සාමි යේක මුදලාලිත් නෑ. මේකා මැරෙන්ට හදනවා. මොන මොනවදොa දොඩවනවා. යේක සාමි බලාගන්ඩ සාමි” කියමින් කීපවරක්‌ම කන්නලව් කළා. වේලුගේ කන්නලව්වෙන් විනාඩි කිහිපයකට පසු බාලු ඇස්‌ ඇරලා පියෙවි සිහියට පැමිණියා.

ඉන් පසු අපි ඇහුවා බාලු අයියා මොනවාද වුණේ කියා. “අනේ අයියා අයෙනම් ආන්ඩ එපා. යේක මකර තොරණ ළගින් එන කොටලොකු මිනිහා තමා හිටියේ ඌ හරි උස තමා. උගේ කකුල් දෙක අස්‌සෙන් තමයි මට යෙන්ට වුණේ. යේක කකුලේ එකමයිල් ගහ හරකා නකුය වගේ. මගේ ඒ මයිල් ගහ වැඳුනා උඩබැලුවා ආනමාලුමාලප්පලන් ගෙඩි වගේ දත් දිගයි. රතු බිත්තර ගෙඩි දෙකක්‌ වගේ ඇස්‌ . කටේ දත්වල ලොකු මස්‌ කෑල්ලකුත් එල්ලාගෙන සිටියා දැක්‌කා.

මම එච්චරයි දන්නේ අයියා” කීවා. යේකා ලොකු ජාතියක තමයි අයියා කියමින් නැවතත් ඔහු මුහුණ අත් දෙකින් වසා ගත්තේය.

ඔහුගේ කථාව අසන ගමන්ම වේලුට මුදලාලි එවූ එම රෙදි පාර්සලය දිගහැරියා. ඒවායෙත් මඩ ගෑවිලා තිබුණා. රෙදි පාර්සලය සමග තිබූ බත් පාර්සලයේ පිටපැත්තේ ඉදිආප්ප රැලිවගේ පනුවන් සිලිසිලි ගා පිරිලා පස්‌සේ බත් පාර්සලයත් ලෙහුවා. අච්චාරු, පරිප්පු, බෝංචි සමග තිබූ මස්‌ කෑලි පුරාවටම ගෝනි නූල් තරම් මහතට පනුවන් පිරිලා. බත් මුල කැළයට විසි කළා. පස්‌සේ චිත්තරේ මුදලාලිට පනිවිඩයක්‌ යවා ගෙන්වා බාලු ගෙදර යෑව්වා. එහිදී ඔහුට නූල් සාත්තුවක්‌ කළ බව ආරංචි වුණා. එදායින් පස්‌සේ වේලුත්, බාලුත් කඩවල්වල නවතින්ට ආවේ නැහැ.

එදා එහෙම වුණාට අදනම් සිරිපාදේ එන උදවිය මස්‌ මාලු, බිත්තර සමග බත් පාර්සල් ගෙනත් වළඳනවා අපි දැක ඇත්තෙමු. සුපිරිසිදු සිරිපා වන්දනාවකට සුපිරිසිදුව ගොස්‌ වන්දනාමාන කිරීමෙන් සුපිරිසුදුවූ සුන්දරවූ තැනකට මතු සංසාරේදී පියවර නගන්නට ඔබට හැකිවේවායි අපේ ප්‍රාර්ථනයයි.

ශ්‍රීපාදය-හැරමිටිපානේ
රාජා ඒ. කුලතුංග

Loading...